අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය සදහා "දිරිය වනිතා" නමින් කාන්තා ව්‍යවසායක මධ්‍යස්ථානයක් ආරම්භ කරමින් එහි පුහුණුව මෙන්ම අලෙවිය නිවැරදි මාර්ගෝපදේශනයක් තුළින් ලබා දෙන්නට අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩි.එම්.එල් බණ්ඩාරනායක මහතාගේ මග පෙන්වීම යටතේ පසුගියදා සිදුවිය. එය ප්‍රෙද්ශයේ විරැකියාවෙන් පෙළෙන කාන්තාවන්ට මෙන්ම ව්‍යවසායක කාන්තාවන්ටද මහත් පිටුවහලකි.

දැනට කල්මුණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මරදමුණේ ග්‍රාමය අත්යන්ත්‍ර නිෂ්පාදන සදහා ලංකාවේ විවිධ දිස්ත්‍රික්කයන්ගෙන් ඇණවුම් ලැබුණද ඒ සදහා ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් වී තිබේ. නුතනය වන විට මෙම ක්ෂේත්‍ර සදහා නවීන යන්ත්‍රසූත්‍ර හදුන්වා දීම තුළ උසස්  ගුණාත්මක භාවයකින් යුතු අඩු පිරිවැයකින් නිමැවුම් වැඩි ප්‍රමාණයක් සාධාරණ මිළක් යටතේ ඉදිරිපත් කිරීමේ හැකියාව උදා වේ. එවන් යන්ත්‍ර සුත්‍ර භාවිතා කිරීම තුළ කුඩා පරිමාණයේ කම්හල් ආරම්භ කර කාන්තා ව්‍යවසායිකාවන් බිහිකරමින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය කළ හැකිය.

නුතනයේ සාරි, සල්වාර්, බ්ලවුස්, ටී ෂර්ට්, කැප්, ෂර්ට්, කුර්තා ආදී ඇදුම් සදහා විශාල ඉල්ලුමක් පවතියි. එහෙත් ඇගලුම් කම්හලක හැර මේ වන විට පරිගණක භාවිතයෙන් ක්‍රියාකරන එම්බ්‍රොයිඩර් වැඩ සිදුකරගැනීමට මෙම ප්‍රෙද්ශයේ වෙසෙන ජනතාවට හැකියිවක් නොමැත. එකී ගැටලුවට පිළියමක් වශයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමාගේ ඉල්ලීම පරිදි කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙව් "දිරිය වනිතා" ඇගලුම් හා පාවහන් නිෂ්පාදන   සහ අත්යන්ත්‍ර නිමැවුම් ව්‍යාපෘති ආරම්භ කෙරිණි.

ව්‍යාපෘතියේ වත්මන් තත්වය

ඒ අනුව මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 20ක් පිහිටා තිබෙන අතර ඒ තුළ ශ්‍රි ලංකා කාන්තා කාර්යංශයේ ලියාපදිංචි කාන්තා සමිති සමාජිකාවන් 16000කට ආසන්න ප්‍රමාණයක් දැනට සිටින අතර මෙවැනි ව්‍යාපෘති ඔස්සේ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මූලික අභිප්‍රාය වේ. දැනට දින කිහිපයකට ප්‍රථම (මාර්තු 14දා) ආරම්භ කළ මෙම මධ්‍යස්ථානය තුළ දැනට ප්‍රතිලාභ ලබන කාන්තා ව්‍යවසායිකයින් ප්‍රමාණය 37කි.මේ සදහා තොරා ගෙන ඇත්තේ අඩු ආදායම් ලාභී, ගෘහ මුලික හා වැන්දඹු හා ආබාධිත කාන්තාවන්ය. මෙම සෑම කාන්තාවක්ම ව්‍යාපෘති කාර්ය සදහා යොදවනුයේ පුහුණුවකින් අනතුරුවයි.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට සෑම බදාදා දිනකම ප්‍රදර්ශන කූටියක් විවෘත කිරීමට නියමිතය. එමෙන්ම ෆෙස්බුක් ගිණුමක් ඔස්සේ අන්තර්ජාලය මූලික කර ගනිමින් දේශීය මෙන්ම විදේශීය පාරි‍භෝගික ප්‍රජාවක් වෙත දිරිය වනිතා මධ්‍යස්ථානයේ නිෂ්පාදනයන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.

මධ්‍යස්ථාන ක්‍රියාවලිය

සේනානායක පුර වසමේ පිහිටි මෙම මධ්‍යස්ථානය තුළ දැනට ඇදුම් මැසීමේ කාර්ය සදහා කාන්තාවන් 12 දෙනෙකුද, පාවහන් නිෂ්පාදන හා බෑග් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති කාන්තාවන් 15දෙනෙකු කටයුතු කරයි. මීට අමතරව මධස්ථාන භූමියේ අලෙවි කුටි කිහිපයක්ද පවත්වාගෙන යනු ලබයි. එම්බ්‍රොයිඩර් භාවිතා කර නිර්මාණය කරන ලද සාරි, සල්වාර්, බ්ලවුස්, කුඩා ළමුන්ගේ ඇදුම්, කොට්ට උර, ටී ෂර්ට්, කැප් නිෂ්පාදනවලට වෙළදපොළ තුළ ඉහල ඉල්ලුමක් තිබෙනවා. එම නිසා ප්‍රෙද්ශයේ පවතින එකී ඉල්ලුම හදුනා ගනිමින් විවිධ මෝස්තර, ලාංඡන ආදී දේ මහා පරිමාණ වශයෙන් පාරිභෝගික අවශ්‍යතාව පරිදි පිළියෙළ කිරීමේ හැකියාව මෙම මධ්‍යස්ථානය සතු වේ.

 අභිමත වු මුලික ඉලක්ක

අම්පාර දිස්ත්‍රික්කයේ පරිගණක එම්බ්‍රොයිඩර් යන්ත්‍ර නොමැතිවීම හේතුවෙන් නුවර, කොළඹ වැනි ප්‍රෙද්ශ වෙත නිර්මාණ කාර්ය සදහා යොමුවීම වළක්වාලමින් දිස්ත්‍රික්කයේ අවශ්‍යතා ඉටු කර ආදායම් තත්ත්වය ඉහළ නැංවීම මෙහි මූලික ඉලක්කය වෙයි. ඉට අමතරව දිගු කාලීන වශයෙන්, ලාහුගල ලිය ශක්ති අලෙවි මධ්‍යස්ථානයේ අලෙවි කුටියක මෙම නිෂ්පාදන අලෙවි කිරීම, එම්බ්‍රොයිඩර් භාවිතා කර සාරි, සල්වාර්, බ්ලවුස්, කුඩා ළමුන්ගේ ඇදුම්, කොට්ට උර, ටී ෂර්ට්, කැප් නිෂ්පාදන කර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටඨාසයකම බල මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස අලෙවි මධ්‍යස්ථානයක් ඇති කිරීමෙ, ඇද ඇතිරිලි හා බෑග් නිෂ්පාදනය කිරීම, දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩල අරමුදල් ශක්තිමත් කිරීම, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම, උපකාර අවශ්‍ය විවිධ සිදුවීම් වලට ලක්වු කාන්තාවන්ට උදව් කිරීම සදහා අරමුදලක් ආරම්භ කිරිම, අනෙක් දිස්ත්‍රික්ක සදහා නිෂ්පාද බෙදා හැරීම සහ පසුකාලීනව මෙම ආදායම් මාර්ගවලට අමතරව ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සහ වැඩිහිටි සුරැකුම් අධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටද ඉදිරියේදී සැලසුම් කොට තිබේ.

එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් වැඩි වශයෙන් ආර්ථික කටයුතු සදහා යොමුකර ඔහුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සහ තරුණියන් හා ආබාධිත කාන්තාවන්ගේ  විරැකියාව අවම කරමින් කාන්තා සවිබලගැන්වීම තුළ ඔවුන්ට සුරක්ෂිත ආර්ථිකයක් හා දිවිපෙවතක් ලබා දීම මූලික අභිමතය වේ.

 

ෂෙහානි දිල්රුක්ෂිකා -  අම්පාර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය